Skip to main content
switcher භාෂාව තෝරන්න

Clean water and sanitation

පිරිසිදු ජලය සහ සනීපාරක්ෂාව

පිරිසිදු ජලය සහ සනීපාරක්ෂාව

සැමට පිරිසිදු, ලබා ගැනීමට හැකියාව ඇති ජලය අප ජීවත් වීමට ප්‍රිය කරන ලෝකයේ අත්‍යවශ්‍ය අංගයක් වන අතර එය සාක්ෂාත් කර ගැනීම සඳහා ප්‍රමාණවත් මිරිදිය පෘථිවියේ ඇත. කෙසේ වෙතත්, අයහපත් ආර්ථිකය හෝ දුබල යටිතල පහසුකම් හේතුවෙන්, ජල සැපයුම, සනීපාරක්ෂාව සහ ස්වස්ථතාව ප්‍රමාණවත් නොවීම නිසා ඒ ආශ්‍රිත රෝගවලින් සෑම වසරකම ළමුන් ඇතුළු මිලියන ගණනක් මිය යති.

ජල හිඟය, ජලයේ ගුණාත්මකභාවය දුර්වල වීම සහ සනීපාරක්ෂාව ප්‍රමාණවත් නොවීම ලොව පුරා දුගී පවුල් වල ආහාර සුරක්ෂිතතාව, ජීවනෝපාය තෝරාගැනීම සහ අධ්‍යාපන අවස්ථාවන් සඳහා අහිතකර ලෙස බලපායි. වර්තමානයේදී, බිලියන 2 කට වැඩි ජනතාවක් මිරිදිය සම්පත් ලබා ගැනීමේ හැකියාව අඩු වීම නිසා අවදානමක් සහිතව ජීවත් වන අතර 2050 වන විට අවම වශයෙන් පුද්ගලයන් හතර දෙනෙකුගෙන් එක් අයෙකු හෝ බොහෝ කල් පවතින හෝ නැවත නැවතත් ඇතිවන මිරිදිය හිඟයෙන් පීඩාවට පත් රටක ජීවත් වීමට ඉඩ තිබේ. විශේෂයෙන්ම, නියඟය ලෝකයේ සමහර දරිද්‍රතම රටවල කුසගින්න සහ මන්දපෝෂණය නරක අතට හරවමින් පීඩාවට පත් කරයි. වාසනාවකට මෙන්, පානීය ප්‍රභවයන් සහ සනීපාරක්ෂාව සම්බන්ධයෙන් පසුගිය දශකය තුළ විශාල ප්‍රගතියක් ලබා ඇති අතර, ලෝක ජනගහනයෙන් 90% කට වඩා වැඩි පිරිසකට දැන් වැඩි දියුණු කළ පානීය ජල ප්‍රභවයන් ලබා ගැනීමේ හැකියාව ඇත.

සනීපාරක්ෂාව සහ පානීය ජලය ලබා ගැනීමේ හැකියාව වැඩි දියුණු කිරීම සඳහා උප සහරා අප්‍රිකාව, මධ්‍යම ආසියාව, දකුණු ආසියාව, නැගෙනහිර ආසියාව සහ ගිනිකොනදිග ආසියාව තුළ සංවර්ධනය වෙමින් පවතින රටවල් කිහිපයක ප්‍රාදේශීය මට්ටමින් මිරිදිය පරිසර පද්ධති කළමනාකරණය සහ සනීපාරක්ෂක පහසුකම් කළමනාකරණය කිරීම සඳහා ආයෝජන වැඩි කළ යුතුය.

6.1

2030 වන විට සියලු දෙනාට සමානාත්මතාවයෙන් යුතුව ආරක්ෂාකාරී සහ අඩු මිළකට පානීය ජලය ලබා ගැනීමට හැකි වීම.

6.2

2030 වන විට සියලුම දෙනාට ප්‍රමාණවත් ලෙස සහ සමානත්වයෙන් යුක්තව සනීපාරක්ෂාව සහ ස්වස්ථතාව ලබා ගැනීමට හැකි වීම සහ එළිමහනේ මළපහ කිරීම තුරන් කිරීම සහ විශේෂයෙන්ම කාන්තාවන්ගේ, ගැහැණු ළමුන්ගේ, සහ අවදානමට ලක්විය හැකි තත්වයේ සිටින පුද්ගලයින්ගේ විශේෂ අවශ්‍යතාවන් කෙරෙහි අවධානය යොමුකිරීම.

6.3

2030 වන විට ජල දූෂණය අඩු කරමින් ජලයේ ගුණාත්මකභාවය ඉහළ නැංවීම, හානිකර විෂ රසායනික සහ වෙනත් ද්‍රව්‍ය බැහැර කිරීම සහ මුදාහැරීම තුරන් කිරීම, පිරිපහදු නොකරන ලද අපජලය මුදාහැරීම අඩු කිරීම සහ ජලය සැලකිය යුතු මට්ටමින් ප්‍රතිචක්‍රීයකරණය සහ ආරක්ෂාකාරීව නැවත භාවිතා කිරීම.

6.4

2030 වන විට සියලුම ක්ෂේත්‍රයන්හි කාර්යක්ෂමව ජලය භාවිතා කිරීම සැලකිය යුතු මට්ටමින් ඉහළ නැංවීම, තිරසර අන්දමින් ජලය ලබා ගැනීම සහ සැපයීම, ජලය හිඟකම මගහැරවීම සදහා සහ ජලය හිඟකමින් පීඩා විඳින ජනතාවගේ සංඛ්‍යාව ප්‍රාමාණික ලෙස අවම කිරීම.

6.5

2030 වන විට දේශ සීමා හරහා වූ සහයෝගය සුදුසු අන්දමින් උපයෝගී කර ගනිමින් ඒකාබද්ධ ජල සම්පත් කළමනාකරණයක් සියලුම මට්ටම්වල ක්‍රියාවට නැංවීම.

6.6

2030 වන විට කඳු, වනගහන, තෙත්බිම්, ගංගාවන්, භූගත ජලය, සහ විල් ඇතුළුව ජලය සම්බන්ධ ජීව පද්ධති ආරක්ෂා කිරීම සහ නැවත ස්ථාපිත කිරීම.

6.A

2030 වන විට ජලය එක්රැස්කිරීම, පිරිපහදු කිරීම, ජලය කාර්යක්ෂමව භාවිතා කිරීම, අපජලය පිරිසිදු කිරීම, ප්‍රතිචක්‍රීයකරණය, නැවත භාවිතා කිරීම සඳහා තාක්ෂණය ද ඇතුළත්ව ජලය හා සනීපාරක්ෂක පහසුකම් පිළිබඳ වැඩසටහන් හා ක්‍රියාකාරකම් සඳහා සංවර්ධනය වෙමින් පවත්නා රටවලට ලබාදෙන අන්තර්ජාතික සහයෝගීතාව හා ධාරිතාවන් ශක්තිමත් කිරීමේ සහයෝගය ඉහළ නැංවීම.

6.B

ජලය හා සනීපාරක්ෂක කටයුතු කළමනාකරණයේදී ප්‍රාදේශීය ප්‍රජාවගේ සහභාගීත්වය දිරිගැන්වීම සහ සහාය ලබාදීම