Skip to main content
switcher භාෂාව තෝරන්න

Good health and well-being

නිරෝගී බව සහ යහපැවැත්ම

නිරෝගී බව සහ යහපැවැත්ම

සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් සහතික කිරීම සහ සෑම වයස් කාණ්ඩයකම යහපැවැත්ම ප්‍රවර්ධනය කිරීම තිරසර සංවර්ධනය සඳහා අත්‍යවශ්‍ය වේ.

ආයු අපේක්ෂාව ඉහළ නැංවීම සහ ළමා හා මාතෘ මරණ වලට අදාළ සමහරක් පොදු මාරක හේතූන් අඩු කිරීම සම්බන්ධයෙන් සැලකිය යුතු ප්‍රගතියක් ලබා ඇති නමුත්, 2030 වන විට සජීවී දරු උපත් 100,000 කට මාතෘ මරණ 70 ට වඩා අඩු කර ගැනීමේ ඉලක්කය කරා ළඟා වීමට කටයුතු කිරීමේදී පුහුණු දරු ප්‍රසූති සාත්තුව වැඩි දියුණු කිරීම් අවශ්‍ය වේ.

2030 වන විට බෝ නොවන රෝග හේතුවෙන් නොමේරූ මරණ 1/3 කින් අඩු කිරීමේ ඉලක්කය සපුරා ගැනීම සඳහා ආහාර පිසීමේදී පිරිසිදු ඉන්ධන භාවිතයට අදාළ වඩාත් කාර්යක්ෂම තාක්ෂණයන් සහ දුම්කොළ වල අවදානම පිළිබඳ අධ්‍යාපනය ද අවශ්‍ය වේ.

 

පුළුල් පරාසයක රෝග සම්පූර්ණයෙන් තුරන් කිරීමට සහ නොනැසී පවත්නා හා මතුවෙමින් පවතින සෞඛ්‍ය ගැටලු විසඳීමට තවත් බොහෝ උත්සාහයන් අවශ්‍ය වේ. සෞඛ්‍ය පද්ධති සඳහා වඩාත් කාර්යක්ෂම අරමුදල් සැපයීම, සනීපාරක්ෂාව සහ ස්වස්ථතාව වැඩිදියුණු කිරීම, වෛද්‍යවරුන් වෙත ප්‍රවේශ වීමේ හැකියාව වැඩි කිරීම සහ පරිසර දූෂණය අවම කිරීමේ ක්‍රම පිළිබඳ වැඩිදුර උපදෙස් ලබා දීමට යොමු වීමෙන් මිලියන ගණනකගේ ජීවිත බේරා ගැනීමට උපකාරී වීම සඳහා සැලකිය යුතු ප්‍රගතියක් ලබා ගත හැකිය.

3.1

2030 වන විට ලෝකයේ මාතෘ මරණ ආනුපාතිකය සජීවී උපත් 100,000 ට 70 දක්වා අඩු කිරීම.

3.2

සියලුම රටවල් වල නවජාත මරණ අනුපාතිකය සජීවී උපත් 1000 ට 12 දක්වා සහ අවුරුදු පහට අඩු ළමා මරණ සජීවී උපත් 1000 ට අවම වශයෙන් 25 දක්වා අඩු කිරීමේ ඉලක්කය ඇතිව 2030 වන විට අලුත උපන් සහ වයස අවරුදු පහට අඩු ළමුන්ගේ වළක්වාගත හැකි මරණ තුරන් කිරීම.

3.3

2030 වන විට ඒඩ්ස්, ක්ෂය රෝගය, මැලේරියා ඇතුළු නොතකා හැර ඇති ඝර්ම කලාපීය වසංගත, හෙපටයිටිස්, ජලය මගින් ඇතිවන රෝග සහ අනෙකුත් බෝවන රෝග තුරන් කිරීම.

3.4

2030 වන විට බෝ නොවන රෝග නිසා සිදුවන අකල් මරණ, ප්‍රතිකාර මගින් හා වළක්වා ගැනීමේ ක්‍රම මගින් තුනෙන් එකකින් අඩු කර ගැනීම සහ මානසික සෞඛ්‍යය සහ යහපැවැත්ම ප්‍රවර්ධනය කිරීම.

3.5

හානිකර ආකාරයට මද්‍යසාර භාවිතය සහ අන්තරායකාරී ඖෂධ භාවිතය වැළක්වීමේ ක්‍රියාමාර්ග සහ ප්‍රතිකාර ශක්තිමත් කිරීම.

3.6

2030 වන විට මහාමාර්ගවල සිදු වන අනතුරුවලින් සිදුවන තුවාල වීම් සහ මරණ සංඛ්‍යාව අඩු කිරීම.

3.7

2030 වන විට පවුල් සැලසුම් ක්‍රම පිළිබඳ තොරතුරු සහ අධ්‍යාපනය ද ඇතුළත්ව ලිංගික සහ ප්‍රජනන සෞඛ්‍ය සත්කාරක සේවා සඳහා සියලුදෙනාට ම ප්‍රවේශ වීමේ අවස්ථා තහවුරු කිරීම සහ ප්‍රජනන සෞඛ්‍යය ජාතික ක්‍රමෝපායයන්ට සහ වැඩසටහන් වලට ඇතුළත් කිරීම.

3.8

මූල්‍යමය අවදානමට පත් වීම සඳහා ආරක්ෂණය ද ඇතුළත්ව ආරක්ෂාකාරී, ඵලදායී, ගුණාත්මක වශයෙන් ඉහළ සහ අඩු වියදමකින් ලබා ගත හැකි ඖෂධ එන්නත් හා අත්‍යවශ්‍ය සෞඛ්‍ය සේවාවන් සියලුදෙනාටම ලබාගත හැකි වීම ඇතුළුව විශ්වීය මට්ටමින් සෞඛ්‍ය පහසුකම් ලබාගැනීමට හැකි වීම.

3.9

2030 වන විට හානිකර රසායනික, වාතය, ජලය සහ පස දුෂණය වීමත්, අපිරිසිදු වීමත් නිසා ඇති වන මරණ සහ රෝගී තත්වයන් සැලකිය යුතු මට්ටමින් අඩු කිරීම.

3.A

දුම්කොළ භාවිතය පාලනය කිරීම සඳහා වූ ලෝක සෞඛ්‍ය සංවිධානයේ වැඩසැලැස්ම සියලුම රටවලට අදාළ වන පරිදි ශක්තිමත් කිරීම සහ ක්‍රියාවට නැංවීම .