Skip to main content
switcher භාෂාව තෝරන්න

Zero Hunger

කුසගින්න තුරන් කිරීම

කුසගින්න තුරන් කිරීම

අපගේ ආහාර වගා කරන්නේ, බෙදා ගන්නේ සහ පරිභෝජනය කරන්නේ කෙසේද යන්න පිළිබඳව නැවත සිතා බැලීමට මෙය කාලයයි. නිවැරදිව කළහොත් කෘෂිකර්මාන්තයෙන්, වන විද්‍යාවෙන් සහ ධීවර කර්මාන්තයෙන් සැමට පෝෂ්‍යදායී ආහාර සැපයිය හැකි අතර ජනතාව කේන්ද්‍ර කරගත් ග්‍රාමීය සංවර්ධනයට සහ පරිසරය ආරක්ෂා කිරීමට සහාය වන අතරම යහපත් ආදායමක් ද උපයා ගත හැකිය.

මේ වන විට අප පස්, මිරිදිය, සාගර, වනාන්තර සහ ජෛව විවිධත්වය වේගයෙන් පිරිහෙමින් පවතී. නියඟය හා ගංවතුර වැනි ආපදාවන් හා සම්බන්ධ අවදානම් වැඩි කරමින් දේශගුණික විපර්යාස අප යැපෙන සම්පත් මත තවත් පීඩනය යොදයි. බොහෝ ග්‍රාමීය කාන්තාවන්ට සහ පුරුෂයන්ට තම භූමිය තුළ තවදුරටත් අවශ්‍යතා සපුරාගත නොහැකි අතර, අවස්ථා සොයමින් නගරවලට සංක්‍රමණය වීමට ඔවුන්ට මෙය බලපෑමක් වේ. දුර්වල ආහාර සුරක්‍ෂිතතාවය නිසා මිලියන ගණනක් ළමුන් මිටි වීමට හෝ උග්‍ර මන්දපෝෂණය නිසා වයස් සීමාවට අදාළ උස නොතිබීමට හේතු වේ.

අද දින කුසගින්නෙන් පෙළෙන මිලියන 815 ක ජනතාව සහ 2050 වන විට මන්දපෝෂණයෙන් පෙළෙනු ඇතැයි අපේක්ෂා කරන අතිරේක බිලියන 2 ක ජනතාව පෝෂණය කිරීමට නම් ගෝලීය ආහාර හා කෘෂිකාර්මික ක්‍රමවේදයේ ප්‍රබල වෙනසක් අවශ්‍ය වේ. කෘෂිකාර්මික ඵලදායීතාවයේ ධාරිතාව ඉහළ නැංවීම සඳහා කෘෂිකර්මාන්තයේ ආයෝජන ඉතා වැදගත් වන අතර සාගින්නෙන් පෙළීමේ උවදුරු අවම කර ගැනීම සඳහා තිරසර ආහාර නිෂ්පාදන ක්‍රමවේද අත්‍යවශ්‍ය වේ.

2.1

2030 වන විට සාගින්න තුරන් කිරීම සහ විශේෂයෙන්ම ළදරුවන් ද ඇතුළත්ව දරිද්‍රතාවෙන් පෙළෙන සහ අවදානමට ලක්වී තිබෙන ජනතාවට ආරක්ෂාකාරී, පෝෂණයෙන් යුත්, ප්‍රමාණවත් ආහාර වසර පුරා ලබාගැනීමට හැකි බව තහවුරු කිරීම.

2.2

අවරුදු පහට අඩු ළමුන් සම්බන්ධයෙන් මිටිවීම සහ ක්ෂය වීම පිළිබඳ අන්තර්ජාතික වශයෙන් එකඟතාවට පත්වූ ඉලක්ක 2025 වන විට ලඟාකරගැනීම ද ඇතුළත්ව 2030 වන විට සියලුම ආකාරයේ පවත්නා මන්දපෝෂණ තත්වයන් තුරන් කිරීම සහ නවයොවුන් ගැහැණු ළමුන්ගේ, ගැබිණි මාතාවන්ගේ, කිරිදෙන මවුවරුන්ගේ සහ වයස්ගත පුද්ගලයින්ගේ පෝෂණ අවශ්‍යතාවන්ට විසඳුම් ලබා දීම.

2.3

2030 වන විට කුඩා පරිමාණ ආහාර නිෂ්පාදකයන්ගේ, විශේෂයෙන්ම කාන්තාවන්ගේ, ස්වදේශික ජනයාගේ, ගොවි පවුල් සහ ධීවරයින්ගේ කෘෂිකාර්මික ඵලදායීතාව සහ ආදායම, ඉඩම්වලට ආරක්ෂාකාරීව සහ සමාන ලෙස ප්‍රවේශ වීමේ අවස්ථාවන්, අනෙකුත් නිෂ්පාදන සම්පත් හා ප්‍රදානයන්, දැනුම, මූල්‍ය සේවා, වෙළඳපොළ සහ වටිනාකම් එකතු කිරීම් හා ගොවිපළ නොවන රැකියා සඳහා අවස්ථාවන් ලබා දීම මගින් දෙගුණ කිරීම.

2.4

2030 වන විට තිරසර ආහාර නිෂ්පාදන පද්ධති පැවැතීම තහවුරු කිරීම සහ ජෛව පද්ධති පවත්වා ගැනීමට උපකාරී වන්නා වූ, කාලගුණ වෙනස්වීම්වලට හැඩ ගැසීම සඳහා වූ ධාරිතාවන් ශක්තිමත් කරන්නා වූ හානිකර කාලගුණ තත්වයන්, නියඟ, ගංවතුර සහ වෙනත් ආපදාවන් සහ ඉඩම් සහ පසේ ගුණාත්මක තත්වයන් වර්ධනය කරන්නා වූ ඔරොත්තු දිය හැකි කෘෂිකාර්මික භාවිතාවන් ක්‍රියාවට නැංවීම.

2.5

2020 වන විට බීජවල, වගාකරන ලද ශාකවල සහ ගොවිපළ සහ ගෘහාශ්‍රිත සතුන්ගේ ජානමය විවිධත්වය පවත්වාගෙන යාම සහ හොඳින් කළමනාකරණය කරන ලද සහ විවිධත්වයන්ගෙන් යුතු බීජ සහ ශාක බැංකු ජාතික කලාපීය සහ අන්තර්ජාතික මට්ටමින් පවත්වාගෙන යාම සහ අන්තර්ජාතික වශයෙන් එකඟ වූ ආකාරයට ජාන සම්පත් සහ පාරම්පරික දැනුම උපයෝගී කරගැනීම මගින් ලබාගන්නා වූ ප්‍රතිලාභවලට ප්‍රවේශ වීම සහ සමානව භුක්ති විඳීම තහවුරු කිරීම.

2.A

විශේෂයෙන් අවම වශයෙන් දියුණු වූ රටවල් ඇතුළුව දියුණු වෙමින් පවත්නා රටවල කෘෂිකාර්මික නිෂ්පාදන ධාරිතාව වැඩි කිරීම සඳහා, ඉහළ නංවන ලද අන්තර්ජාතික සහගයෝගීතාවෙන් ග්‍රාමීය යටිතල පහසුකම්, කෘෂිකාර්මික පර්යේෂණ සහ ව්‍යාපෘති සේවාවන්, තාක්ෂණ සංවර්ධනය සහ ශාක සහ පශු සම්පත් ජාන බැංකු සඳහා සිදු කරන ආයෝජන වැඩි කිරීම.

2.B

ලෝකයේ කෘෂිකාර්මික වෙළඳපොළේ සීමා කිරීම සහ සාවද්‍ය නියෝජනය වැළැක්වීම සහ නිවැරදි කිරීම සහ දෝහා සංවර්ධන න්‍යාය පත්‍රයේ එකඟතාවන් අනුව කටයුතු කරමින් සියලුම ආකාරයේ කෘෂිකාර්මික අපනයනයන් සඳහා වන සහනාධාර සහ සමාන බලපෑම ඇති සියලුම අපනයන ප්‍රයත්නයන් සමාන්තරගතව ඉවත් කිරීම.

2.C

සීමාන්තික වශයෙන් ආහාර මිල උච්ඡාවචනය වීම වැළැක්වීමට ආහාර සංචිත ද ඇතුළත්ව ආහාර නිෂ්පාදන වෙළඳපොළවල් සහ ඒවායේ අතුරු නිෂ්පාදන නියමිත ආකාරයෙන් ක්‍රියාත්මක වීම තහවුරු කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම.