Skip to main content
switcher භාෂාව තෝරන්න

Decent work and economic growth

සුනිසි මෙහෙවර සහ ආර්ථික වර්ධනය

  1. මුල් පිටුව
  2. තිරසාර සංවර්ධන අරමුණු (SDGs)
  3. සුනිසි මෙහෙවර සහ ආර්ථික…

සුනිසි මෙහෙවර සහ ආර්ථික වර්ධනය

 

ලෝක ජනගහනයෙන් දල වශයෙන් අඩක් තවමත් ජීවත් වන්නේ දිනකට ඇමරිකානු ඩොලර් 2 කට සමාන ප්‍රමාණයකින් වන අතර ගෝලීය විරැකියා අනුපාතය 5.7% ක් වන අතර රැකියාවක් තිබීම බොහෝ ස්ථානවල දරිද්‍රතාවයෙන් මිදීමේ හැකියාව සහතික නොකරයි. මෙම මන්දගාමී හා අසමාන ප්‍රගතිය නිසා දුප්පත්කම තුරන් කිරීම අරමුණු කරගත් අපගේ ආර්ථික හා සමාජ ප්‍රතිපත්ති පිළිබඳව නැවත සිතා බැලීමට සහ තහවුරු කිරීමට අවශ්‍ය වේ.

 

අඛණ්ඩව යහපත් රැකියා අවස්ථා නොමැතිකම, ප්‍රමාණවත් ආයෝජන නොමැතිකම සහ ඌන පරිභෝජනය ප්‍රජාතන්ත්‍රවාදී සමාජවලට පාදක වූ 'සියල්ලන්ම ප්‍රගතියට හවුල් විය යුතුය' යන මූලික සමාජ ගිවිසුම අවලංගු කිරීමට තුඩු දෙයි. ලොව පුරා ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතයේ සාමාන්‍ය වාර්ෂික වර්ධන වේගය වසරින් වසර ඉහළ යමින් තිබුණද, ලෝකයේ සංවර්ධනය වෙමින් පවතින බොහෝ රටවල් තවමත් ඔවුන්ගේ වර්ධන වේගය පහත වැටෙමින් 2030 සඳහා නියම කර ඇති 7% වර්ධන වේග ඉලක්කයට වඩා ඔබ්බට ගමන් කරමින් සිටියි. ශ්‍රම ඵලදායිතාව අඩුවීම හා විරැකියා අනුපාතය ඉහළ යාමත් සමඟ අඩු වැටුප් හේතුවෙන් ජීවන තත්ත්වය පහත වැටීමට පටන් ගනී.

 

පරිසරයට හානියක් නොකරන අතරම ආර්ථික උත්තේජනයක් සිදු කරන ගුණාත්මක රැකියා ලබා ගැනීමට පුදගලයින්ට ඉඩ සලසන තත්වයන් සමාජය විසින් නිර්මාණය කිරීම තිරසර ආර්ථික වර්ධනයට අවශ්‍ය වනු ඇත. සමස්ත වැඩ කරන වයසේ ජනගහනය සඳහා රැකියා අවස්ථාවන් සහ යහපත් සේවා තත්වයන් ද අවශ්‍ය වේ. ආදායම් කළමනාකරණය, වත්කම් රැස් කිරීම සහ ඵලදායී ආයෝජන සිදු කිරීම සඳහා මූල්‍ය සේවාවන් වෙත ප්‍රවේශ වීමේ හැකියාව වැඩි කළ යුතුය. වෙළඳ, බැංකු හා කෘෂිකාර්මික යටිතල පහසුකම් සඳහා වන කැපවීම් වැඩි කිරීම මගින් ඵලදායිතාව ඉහළ නැංවීමට සහ ලෝකයේ වඩාත්ම දුගී කලාපවල විරැකියා මට්ටම අඩු කිරීමට උපකාරී වේ.

8.1

ජාතික තත්වයන්ට අනුකූලව ඒක පුද්ගල ආර්ථික වර්ධනය පවත්වාගෙන යාම සහ විශේෂයෙන්ම අවම වශයෙන් සංවර්ධනය වී ඇති රටවල් වසරකට අවම වශයෙන් 7% ක දළ ජාතික නිෂ්පාදිතයේ වර්ධනයක් පවත්වාගෙන යාම.

8.2

විවිධාංගීකරණය, තාක්ෂණය ඉහළ නැංවීම, සහ නවෝත්පාදනය තුළින් සහ ඉහළ වටිනාකම් එකතු කරන ලද සහ ශ්‍රමය සඳහා වැඩි ඉල්ලුමක් ඇති ක්ෂේත්‍ර පිළිබඳ අවධානය යොමු කිරීම තුළින් ඉහළ මට්ටමේ ආර්ථික නිෂ්පාදිතයක් ලබාගැනීම.

8.3

ඵලදායී ක්‍රියාකාරකම් වලට, සුනිසි රැකියා අවස්ථාවන්ට, ව්‍යවසායකත්වයට සහ නිර්මාණශීලීභාවයට සහාය දක්වන්නා වූ සංවර්ධනාත්මක දිශානතියකින් යුත් ප්‍රතිපත්තීන් ප්‍රවර්ධනය කිරීම. මූල්‍ය සේවාවන්ට ප්‍රවේශ වීමට අවස්ථාව සලසමින් ක්ෂුද්‍ර, කුඩා පරිමාණ සහ මධ්‍යම ප්‍රමාණයේ ව්‍යවසායන් පිහිටුවීම සහ සංවර්ධනය කිරීම දිරිගැන්වීම.

8.4

2030 දී, තිරසර පරිභෝජනය සහ නිෂ්පාදනය පිළිබඳ දස අවුරුදු වැඩසැලැස්මට අනුකූලව, ලෝක නිෂ්පාදනයේ සහ පරිභෝජනයේදී සම්පත් උපයෝජනය කාර්යක්ෂම කිරීම සහ ආර්ථික සංවර්ධනයේදී පරිසරයට හානි සිදුවීම නැවත්වීමට ක්‍රියාමාර්ග ගැනීම ප්‍රගතිශීලී ආකාරයට වර්ධනය කිරීම. මෙහිදී සංවර්ධනය වූ රටවල් පෙරමුණ ගනු ලැබේ.

8.5

2030 වන විට ආබාධිත පුද්ගලයින් සහ යෞවනයින් ද ඇතුළත්ව සියලුම කාන්තාවන් සහ පිරිමින් සඳහා ඵලදායී සහ සුනිසි රැකියා අවස්ථාවන් ලබාදීම

8.6

2030 වන විට අධ්‍යාපනය නොලබන, පුහුණුවක් නොලබන, රැකියාවක් නොමති යෞවනයින්ගේ සංඛ්‍යාව සැලකිය යුතු මට්ටමින් අඩුකිරීම.

8.7

බලහත්කාරයෙන් ශ්‍රමය ලබාගැනීම තුරන් කිරීම සඳහා වහාම ඵලදායී ක්‍රියාමාර්ග ගැනීම, කාන්තාවන් වහල් සේවයේ යෙදවීම සහ මානව කුට්ටනය අවසන් කිරීම සහ ළමුන් සොල්දාදුවන් වශයෙන් බඳවා ගැනීමද ඇතුළත්ව අතිශය නරක ආකාරයෙන් ළමා ශ්‍රමය යොදා ගැනීම තහනම් කිරීම සහ තුරන් කිරීම සහ 2025 වන විට සියලුම ආකාරයේ ළමා ශ්‍රමය යොදා ගැනීම අවසන් කිරීම.

8.8

කම්කරු අයිතිවාසිකම් ආරක්ෂා කිරීම. විශේෂයෙන්ම සංක්‍රමණික කාන්තාවන් ඇතුළු සංක්‍රමණිකයින් සහ අවදානම් සහගත රැකියා වල නිරත වූවන් ඇතුළත්ව වැඩකරන සියලු දෙනා සඳහා ආරක්ෂාකාරී සහ ප්‍රවෙසම්සහගත සේවා ස්ථාන සහිත පරිසරයන් ප්‍රවර්ධනය කිරීම.

8.9

2030 වන විට දේශීය සංස්කෘතිය, නිෂ්පාදනය සහ රැකියා අවස්ථාවන් ප්‍රවර්ධනය කරන්නා වූ තිරසර සංචාරක කර්මාන්ත පිළිබඳ ප්‍රතිපත්ති සැලසුම් කිරීම සහ ක්‍රියාත්මක කිරීම.

8.10

සියලු දෙනාට බැංකු පහසුකම්, රක්ෂණ සහ මූල්‍ය සේවාවන් ලබාගැනීමට ප්‍රවේශ විය හැකි පරිදි දේශීය මූල්‍ය ආයතන වල ධාරිතාවන් ශක්තිමත් කිරීම.

8.A

විශේෂයෙන් අවම වශයෙන් සංවර්ධනය වූ රටවල් ද ඇතුළත්ව සංවර්ධනය වෙමින් පවත්නා රටවලට වෙළඳාම සම්බන්ධයෙන් ලබාදෙන ආධාර වැඩි කිරීම. අවම වශයෙන් සංවර්ධනය වූ රටවලට වෙළඳාම සම්බන්ධ තාක්ෂණික සහාය ලබා දීම සඳහා ඒකාබද්ධ වැඩසැලැස්මට අනුකූලව කටයුතු කිරීම.

8.B

2020 වන විට තරුණ තරුණියන්ට රැකියා අවස්ථා ලබා දීම සඳහා ජගත් මට්ටමේ ක්‍රමෝපායක් සංවර්ධනය කිරීම සහ ක්‍රියාවට නැංවීම හා අන්තර්ජාතික කම්කරු සංවිධානයේ ජගත් රැකියා සම්මුතිය ක්‍රියාවට නැංවීම.