Skip to main content
switcher භාෂාව තෝරන්න

Life on land

ගොඩබිම මත ජීවය

ගොඩබිම මත ජීවය

පෘථිවි පෘෂ්ඨයෙන් සියයට 30.7 ක් වනාන්තර ආවරණය කරන අතර ආහාර සුරක්ෂිතතාව සහ නවාතැන් සැපයීමට අමතරව දේශගුණික විපර්යාසයන්ට එරෙහිව සටන් කිරීමට, ජෛව විවිධත්වය සහ ආදිවාසී ජනතාවගේ නිවාස ආරක්ෂා කිරීමට ඒවා ප්‍රධාන වශයෙන් දායක වේ.වනාන්තර ආරක්ෂා කිරීමෙන් ස්වාභාවික සම්පත් කළමනාකරණය ශක්තිමත් කිරීමට සහ ඉඩම් ඵලදායිතාව ඉහළ නැංවීමට ද අපට හැකි වේ.

 

වර්තමානයේදී, සෑම වසරකම හෙක්ටයාර් මිලියන දහතුනක් වනාන්තර අහිමි වෙමින් පවතින අතර, වියළි බිම් අඛණ්ඩව පිරිහීම නිසා හෙක්ටයාර බිලියන 3.6 ක් කාන්තාරකරණය වීමට හේතු වී තිබේ. ඉඩම් වලින් 15% ක් පමණ දැනට ආරක්ෂිතව පැවතුනද, ජෛව විවිධත්වය තවමත් අවදානමට ලක්ව ඇත. මානව ක්‍රියාකාරකම් හා දේශගුණික විපර්යාස හේතුවෙන් වන වනාන්තර විනාශය සහ කාන්තාරකරණය තිරසර සංවර්ධනයට විශාල අභියෝගයක් වන අතර දරිද්‍රතාවයට එරෙහි සටනේදී මිලියන සංඛ්‍යාත ජනතාවගේ ජීවිත හා ජීවනෝපායන් කෙරෙහි බලපා ඇත.

වනාන්තර කළමනාකරණය කිරීමට සහ කාන්තාරකරණයට එරෙහිව සටන් කිරීමට උත්සාහයන් දරමින් සිටී. සම්පත් සාධාරණ ලෙස භාවිතා කිරීම ප්‍රවර්ධනය කරන අන්තර්ජාතික ගිවිසුම් දෙකක් දැනට ක්‍රියාත්මක වේ. ජෛව විවිධත්වය සඳහා සහාය දැක්වීමට මූල්‍ය ආයෝජන ද සපයනු ලැබේ.

15.1

2020 වන විට භූමියේ සහ ගොඩබිම අභ්‍යන්තරයේ පවත්නා මිරිදිය පරිසර පද්ධති සහ ඒවායින් ලැබෙන්නා වූ සේවාවන්, විශේෂ වනාන්තර, කඳු සහ වියළි බිම් අන්තර්ජාතික ගිවිසුම්වලට අනුකූල වන පරිදි සංරක්ෂණය, නැවත නගාසිටුවීම සහ තිරසර අන්දමින් භාවිතා කිරීම තහවුරු කිරීම.

15.2

2020 වන විට සියලුම වර්ගවල වනාන්තර තිරසර අන්දමින් කළමනාකරණය කිරීම ප්‍රවර්ධනය, වන විනාශය නැවත්වීම, විනාශ වූ වනාන්තර යථා තත්වයට පත්කිරීම සහ ජගත් මට්ටමින් වන රෝපණය සහ නැවත වන වගාව වර්ධනය කිරීම.

15.3

2030 වන විට කාන්තාරකරණය තුරන් කිරීම, කාන්තාරකරණය, නියඟය සහ ගංවතුර නිසා බලපෑමට ලක්වූ ඉඩම් ද ඇතුළුව විනාශයට පත් වූ ඉඩම් සහ පස නැවත යථා තත්වයට පත්කිරීම සහ ඉඩම් විනාශයට පත් නොවන ලෝකයක් ඇති කරගැනීම.

15.4

2030 වන විට තිරසර සංවර්ධනය සඳහා අත්‍යවශ්‍ය ප්‍රතිලාභ ගෙන දීමට ඒවායේ ධාරිතාව ඉහළ නැංවීම සඳහා ජෛව විවිධත්වය ද සමගින් කඳුකර පරිසර පද්ධති සංරක්ෂණය කිරීම තහවුරු කිරීම.

15.5

ස්වභාවික වාසභූමි විනාශ වීම අවම කිරීමට කඩිනම් සහ කැපී පෙනෙන ක්‍රියාමාර්ග ගැනීම, ජෛව විවිධත්වයට හානි වීම නැවත්වීම සහ 2020 වන විට තර්ජනයට ලක් වූ ජීවී විශේෂයන් ආරක්ෂා කිරීම සහ වඳවීයාම වැළැක්වීම.

15.6

ජාන සම්පත් උපයෝගී කරගැනීමෙන් ලබන්නා වූ ප්‍රතිලාභ සාධාරණ සහ සමාන අයුරින් බෙදාගැනීම ප්‍රවර්ධනය කිරීම සහ අන්තර්ජාතිකව එකඟ වී ඇති ආකාරයට සුදුසු අන්දමින් එවැනි සම්පත් සඳහා ප්‍රවේශ වීමට අවස්ථාවන් ලබාදීම ප්‍රවර්ධනය කිරීම.

15.7

සංරක්ෂිත සත්ව සහ ශාක විශේෂයන් නීති විරෝධී ලෙස ගෙනයාම හා සොරකම් කිරීම සහ නීති විරෝධී වන සත්ව නිෂ්පාදනයන් සම්බන්ධයෙන් පවතින ඉල්ලුම සහ සැපයුම වැළැක්වීමට කඩිනම් ක්‍රියාමාර්ග ගැනීම.

15.8

2020 වන විට ගොඩබිම සහ ජලයේ පරිසර පද්ධතිවල වෙසෙන ආක්‍රමණික පිටස්තර ජීවී විශේෂයන් අලුතින් හඳුන්වාදීම සහ ඔවුන්ගෙන් සිදු වන බලපෑම කැපීපෙනෙන ලෙස අඩුකිරීමට ක්‍රියාමාර්ග හඳුන්වා දීම සහ මෙම විශේෂයන් පාලනය හෝ තුරන්කිරීම.

15.9

2020 වන විට ජාතික සහ ප්‍රාදේශීය සැලසුම්වලට, සංවර්ධන ක්‍රියාවලියට, දරිද්‍රතාව පිටුදැකීමේ ක්‍රමෝපායන්ට සහ ගිණුම්වලට පරිසර පද්ධති සහ ජෛව විවිධත්වයේ වටිනාකම ඒකාබද්ධ කිරීම.

15.A

ජෛව විවිධත්වයන් සහ පරිසර පද්ධති සංරක්ෂණය කිරීමට සහ තිරසර අන්දමින් භාවිතා කිරීමට සියලුම මූලාශ්‍රයන්ගෙන් මූල්‍ය ප්‍රතිපාදන රැස්කිරීමට උනන්දු කිරීම සහ කැපී පෙනෙන ලෙස වැඩිකිරීම.

15.B

තිරසර ලෙස වනාන්තර කළමනාකරණය සඳහා සියලුම මූලාශ්‍රවලින් සියලුම මට්ටම්වලට කැපී පෙනෙන ලෙස සම්පත් ලබාදීම සහ සංවර්ධනය වෙමින් පවත්නා රටවලට වන සංරක්ෂණය සහ නැවත වන වගා කිරීම ඇතුළත්ව කළමනාකරණ කටයුතු සඳහා ප්‍රමාණවත් දිරිගැන්වීම් ලබා දීම.

15.C

තිරසර ජීවනෝපාය මාර්ග අවස්ථාවන් ග්‍රහණය කරගැනීමට දේශීය ප්‍රජාවන්ගේ ධාරිතාව ඉහළ නැංවීම ද ඇතුළත්ව සංරක්ෂණය කරන ලද ජීව විශේෂයන් සොරකම් කිරීම සහ කුට්ටනය වැළැක්වීම සඳහා වූ ප්‍රයත්නයන්ට ජගත් මට්ටමේ සහාය ලබා දීම ඉහළ නැංවීම.