Skip to main content

ශ්‍රී ලංකා හරිත වාර්තාකරණ පද්ධතිය ශක්තිමත් කිරීම

  1. Home
  2. News & Events
  3. ශ්‍රී ලංකා හරිත…

ශ්‍රී ලංකා හරිත වාර්තාකරණ පද්ධතිය ශක්තිමත් කිරීම

12 May 2023

Time

10:00am

Location

සූම් තාක්ෂණය

තිරසර සංවර්ධන අරමුණු ළඟාකර ගැනීමේ දී පෞද්ගලික අංශයේ දායකත්වයෙහි ඇති වැදගත්කම හඳුනාගත් තිරසර සංවර්ධන සභාව,මෙම ගෝලීය අරමුණු ඉලක්ක කර ගනිමින් පෞද්ගලික අංශය තුළ සිදු කෙරෙන කටයුතු පුළුල් කිරීමේ අරමුණින් මෙහෙයුම් කමිටුවක් ස්ථාපනය කර ඇත.

ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය, කොළඹ කොටස් වෙළඳපොළ, ශ්‍රී ලංකා ජාතික වාණිජ මණ්ඩලය, ශ්‍රී ලංකා ජාතික අපනයනකරුවන්ගේ වාණිජ මණ්ඩලය, කාන්තා වාණිජ හා කර්මාන්ත මණ්ඩලය, එක්සත් ජාතීන්ගේ නේවාසික කාර්යාලය, එක්සත් ජාතීන්ගේ ග්ලෝබල් කම්පැක්ට් ශ්‍රී ලංකා ජාලය සහ ශ්‍රී ලංකා ජෛව විවිධත්ව සංසදය යන ආයතනයන් නියෝජනය කරන නිලධාරී මඩුල්ලකින් එම කමිටුව සමන්විත වේ.

උක්ත අරමුණු පෙරදැරිව මෙහෙයුම් කමිටුවේ එකඟත්වය ද ඇතිව තිරසර සංවර්ධන සභාව විසින් 2023 වසර සඳහා පෞද්ගලික අංශය තුළ සැලසුම් රාශියක් ක්‍රියාත්මක කරමින් පවතී. මේ අතරින් ශ්‍රී ලංකාවේ නිෂ්පාදන සහ සේවා අංශයන්හි හරිත වාර්තාකරණයට අදාලව තොරතුරු ගොනු කිරීමේ දී ඇතිවන දුෂ්කරතාවයන් අවම කර ගනිමින් අනන්‍ය වාර්තාකරණයක් ඇතිකර ගැනීමේ උදෙසා ජාතික හරිත වාර්තාකරණ පද්ධතිය (National Green Reporting System) පිළිබඳව පරිසර අමාත්‍යාංශය සහ මෙහෙයුම් කමිටු සාමාජිකයන් සමඟ තිරසර සංවර්ධන සභාවේ අධ්‍යක්ෂ ජනරාල්තුමිය ඇතුළු නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් සිදු කළ සාකච්ඡාවක්  Zoom තාක්ෂණය ඔස්සේ පැවත්විණ.

මෙහිදී හරිත වාර්තාකරණ පද්ධතිය වඩාත් කාර්යක්‍ෂම කිරීම සඳහා වැදගත් කරණු රාශියක් පරිසර අමාත්‍යාංශය නියෝජනය කරමින් සහභාගී වූ නිලධාරීන් සමඟ සාකච්ඡා කෙරිණි. ඒ අතර, මෙහෙයුම් කමිටුවේ එකඟතාවය පරිදි 2022 වසරේ ප්‍රතිව්‍යුහගත කරන ලද Global Reporting Initiatives (GRI) ආකෘතියට අනුකූල වන ලෙස ජාතික හරිත වාර්තාකරණ පද්ධතිය සංශෝධනය කිරීම හා ඒ් පිළිබඳ කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් සඳහා පුළුල් ප්‍රචාරණයක් ලැබෙන ලෙස පුහුණු කටයුතු සිදු කිරීම යනාදිය ප්‍රමුඛතාගත කෙරිණි. එමෙන්ම ජාතික හරිත වාර්තාකරණ පද්ධතිය පිළිබඳ මාර්ගෝපදේශය සිංහල සහ දමිළ භාෂාවන්ගෙන් මුද්‍රණය කිරීමටත් අවශ්‍ය පියවර ගැනීමට එකඟතාවය පළ කරන ලදී.