Skip to main content

තිරසර සංවර්ධන අරමුණු සඳහා වන ජාතික මෙහෙයුම් කමිටුවේ නිලධාරීන්ගේ අනු කමිටුව අග්‍රාමාත්‍ය ලේකම්තුමන්ගේ ප්‍රධානත්වයෙන් රැස්වේ

  1. Home
  2. News & Events
  3. තිරසර සංවර්ධන අරමුණු…

තිරසර සංවර්ධන අරමුණු සඳහා වන ජාතික මෙහෙයුම් කමිටුවේ නිලධාරීන්ගේ අනු කමිටුව අග්‍රාමාත්‍ය ලේකම්තුමන්ගේ ප්‍රධානත්වයෙන් රැස්වේ

08 Feb 2023

Time

2:00pm

Location

අරලියගහ මන්දිරය

ශ්‍රී ලංකාව මුහුණ දෙමින් සිටින අභියෝග ජය ගැනීම සඳහා අමාත්‍යංශ හා ආයතන මට්ටමින් සිදු කරනු ලබන සංවර්ධන කටයුතු තිරසර සංවර්ධන අරමුණු වලට අනුගත වෙමින් සිදු කළ යුතු බව අවධාරණය කරමින් තිරසර සංවර්ධන අරමුණු සඳහා වන ජාතික මෙහෙයුම් කමිටුවේ නිලධාරීන්ගේ අනු කමිටුව අග්‍රාමාත්‍ය ලේකම්තුමන්ගේ ප්‍රධානත්වයෙන් ඊයේ දින අරලියගහ මන්දිරයේදී රැස්විය.

තිරසර සංවර්ධන අරමුණු  ළඟා කර ගැනීම සඳහා අමාත්‍යංශ හා ආයතන මට්ටමින් සිදු කරනු ලබන කටයුතු සම්බන්ධීකරණය වෙනුවෙන් නියෝජිතයන් පත් කර ගැනීම හා ඔවුන්ගේ ක්‍රියාකාරී දායකත්වයෙහි අවශ්‍යතාවය මෙහිදී පෙන්වා දෙන ලදී. පසුගිය මෙහෙයුම් කමිටු රැස්වීමේ එකඟතා පරිදි මුදල් අමාත්‍යංශයේ ලේකම්තුමන්ගේ අත්සනින් යුතුව අමාත්‍යංශ වෙත යොමු කර ඇති චක්‍රලේඛය අනුව තිරසර සංවර්ධන අරමුණු  ළඟා කර ගැනීමට අදාළ අමාත්‍යාංශ මට්ටමින් ඉලක්ක සකස් කර ගැනීම සඳහා මේ වන විට ගෙන ඇති ක්‍රියාමාර්ග වල ප්‍රගතිය තිරසර සංවර්ධන සභාවේ අධ්‍යක්‍ෂ ජනරාල් විසින් ඉදිරිපත් කරන ලදී.

අධික්‍ෂණය හා පසු විපරම් රාමුවක් සකස් කර ගැනීම සඳහා වන ඉලක්ක හඳුනා ගැනීම, තීරණ ගැනීම වඩාත් කාර්යක්‍ෂම කිරීම සඳහා අවශ්‍ය නිවැරදි දත්ත යාවත්කාලින කිරීම, පවතින අභියෝග හඳුනා ගැනීම සහ ඊට අවශ්‍ය ප්‍රතිසංස්කරණ සිදු කිරීම මෙන්ම මේ ක්‍රියාදාමය සඳහා වන ඒකාබද්ධ ප්‍රවේශය ඉතා තිරණාත්මක සාධක බව අමාත්‍යංශ ලේකම්වරුන් හා ආයතන ප්‍රධානීන් විසින් තහවුරු කරන ලදී.

මෙම රැස්වීම සඳහා මෙහෙයුම් කමිටු සාමාජිකත්වය දරණ කැබිනට් හා රාජ්‍ය අමාත්‍යංශ ලේකම්වරුන්/ අතිරේක ලේකම්වරුන්, අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලයේ අතිරේක ලේකම් ඇතුළු සෙසු නිලධාරීන් සහ තිරසර සංවර්ධන සභාවේ අධ්‍යක්‍ෂ ජනරාල් ඇතුළු නිලධාරීන් සහභාගී විය.